මිරිහාන සිද්ධිය : ආරක්‍ෂක ලේකම්ගෙන් විශේෂ පැහැදිලි කිරීමක්

(කොළඹ, ලංකාපුවත්) – මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි කියන පදනම් විරහිත චෝදනා ප්‍රතික්‍ෂේප කරන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අවධාරණය කරයි.

එම මාධ්‍ය වාර්තා වල සඳහන් කරුණු අසත්‍ය බව සඳහන් කරමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එවැනි රැස්වීමක් නොපැවති බවයි.

ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීම්වලදී නිලනොවන පුද්ගලයින් තනතුරු දැරූ අවස්ථා නොමැති බව ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ සංයුතිය සහ වැදගත්කම ගැන පැහැදිලි කරමින් ආරක්‍ෂක ලේකම්වරයා එහි අවධාරණය කර තිබේ.

ආරක්‍ෂක අමාත්‍යවරයා සහ සභාපතිවරයා ලෙස ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන්, විදේශ අමාත්‍ය, මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, ජනාධිපති ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, භාණ්ඩාගාර ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ව්‍යවස්ථාපිත සාමාජිකයින් වන අතර, ජාතික බුද්ධි ප්‍රධානී සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී මෙහි පත්කර ගන්නා ලද සාමාජිකයින් වේ.

රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සියලුම තීරණ ගැනීමේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආයතනය ජාතික ආරක්‍ෂක කවුන්සිලයෙවන බැවින් මෙම රැස්වීම සඳහා සත්කාරකත්වය සපයනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කිසිඳු නිලනොවන පුද්ගලයෙකු හට මෙම රැස්වීම් සඳහා ආරාධනා / අවසර ලබාදී නොමැති බවද සදහන් කෙරේ.

ජාතික ආරක්‍ෂාවට බලපාන කරුණු තිබේ නම්, ඊට අදාල ආයතනවල ප්‍රධානීන් කැඳවා ආරක්‍ෂක කවුන්සිලයේ රැස්වීම්වලට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ඇත.

එබැවින්, මෙම තොරතුරු වැරදි, පදනම් විරහිත සහ ජනතාව නොමග යවන සුළු වන අතර, ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සහ බෙදා හැරීමෙන් වළකින ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මාධ්‍ය වෙත සහ මහජනතාවට උපදෙස් ලබාදෙනු ලැබේ. තවද ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් රටේ ආරක්‍ෂාව සම්බන්ධ ගැටලු අධීක්‍ෂණය කිරීම සිදුකරනු ලබන අතර, ජාතික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව නිරන්තර යාවත්කාලීන කිරීම් නිකුත් කරන බව ද සදහන් කෙරේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *