ඇමති රංගේ බණ්ඩාර යෝධවැවේ වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය වහාම නවතයි

(කොළඹ, ලංකාපුවත්) – මන්නාරම, මුරුක්කන් යෝධවැවේ වැව් බැම්ම ප‍්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි නවතා දමන්නැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ එම ව්‍යාපෘතිය වඩාත් දූෂිත ආකාරයෙන් සිදු වන බව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුවය. වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කපිල ජයසේකර මහතා ඇතුළු අමාත්‍යංශ බලධාරීන් සමග මෙම ව්‍යාපෘතිය නිරීක්‍ෂණය කිරීම සඳහා අමාත්‍යවරයා ඊයේ(13) එම ස්ථානයට පැමිණියේ මල්වතුඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාලව සිදු කළ නිරීක්‍ෂණයට සමගාමීවයි.

ගිලා බැසීමට ලක්ව ඇති වැව් බැම්ම පුළුල් කර ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ලබා දී ඇති මුදල රුපියල් ලක්‍ෂ 80 කි. කෙසේ වෙතත් අදාල කොන්ත‍්‍රාත්කරු මෙය නියමිත ප‍්‍රමිතියට සිදු නොකරන බව මෙම නිරීක්‍ෂණයේදී අනාවරණ විය.

බොරළු පස් දමා මෙය සකස් කළ යුතු වුවද මේ වන විට අදාල කොන්ත‍්‍රාත්කරු සිදු කර ඇත්තේ මඩ හා කසල මිශ‍්‍ර පස් දමා වැව් බැම්ම සැකසීමයි. එමෙන්ම නියමිත ප‍්‍රමිතියට අනුව මෙය සකස් කිරීමටනම් බොරළු පස් තට්ටු වශයෙන් දමා ඒ මතට ජලයද යොදා යන්ත‍්‍රාණුසාරයෙන් ඒවා තලා පිළියෙල කළ යුතු වෙයි. කෙසේ වෙතත් මෙහිදී එවැන්නක් සිදු නොවන බව අනාවරණ වූ අතර රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ අදාල කොන්ත‍්‍රාත්කරුගේ සේවය වහාම අත්හිටුවන ලෙසයි.

එමෙන්ම සිදුව ඇති අලාභය ඔහුගෙන් අය කර ගැනීමට පියවර ගන්නා ලෙසත් මෙම තත්ත්වයට වගකිව යුතු නිලධාරීන් පිළිබඳ සොයා බලා වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසත් ඔහු උපදෙස් ලබා දෙන ලදී. අමාත්‍යවරයා සඳහන් කළේ මේ පිළිබඳ පුළුල් සොයා බැලීමක් සිදු කරන බවයි. තමන් යටතේ සිදුවන කිසිදු ව්‍යාපෘතියක දූෂණ, අක‍්‍රමිකතා සිදු නොවිය යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *