සමෘද්ධි ලාභී පවුල්වල දරුවන්ට ජපානයේ උසස් අධ්‍යාපන වරම්

(කොළඹ, ලංකාපුවත්) – සමෘද්ධි ලාභී පවුල් වල උසස් පෙළ සමත් සිසු සිසුවියන් 25 දෙනෙකුට ජපන් භාෂාව පිළිබඳ වසර 02ක ඩිප්ලෝමා පාඨමාලාවක් ජපානයේදී හැදෑරීමට වරම් හිමිව තිබේ.
සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ උපදෙස් මත දිවයින පුරා විසිරී සිටින සමෘද්ධි ලාභී පවුල් වලින් තෝරා ගත් මෙම පිරිසට සිසුන් 09ක් හා සිසුවියන් 16ක් ඇතුලත් වේ.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති සමාජ ආරක්ෂණ අරමුදල විසින් මෙම සිසුන් වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 18 බැගින් රුපියල් ලක්ෂ 450ක් වැය කිරීමට නියමිත බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් හපුහින්න මහතා පැවසීය.

ජපන් භාෂාව හදාරන අතරතුර ජපානයේදී මෙම සිසුන්ට අර්ධ කාලීන රැකියා වල නිරත වීමට හැකිවන බවත්, වසර 02 අවසන් වීමෙන් පසු ජපානයේ පූර්ණ කාලීන රැකියාවල නිරත වීමට මෙම පිරිසට ඉඩ ලැබෙන බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

නොබෝ දිනකින් ජපානය බලා යාමට නියමිත මෙම සිසු පිරිස හා ඔවුන්ගේ මව්පියන් අද (31)බත්තරමුල්ල සෙත්සිරිපායේදී අමාත්‍ය එස්.බී.දිසානායක මහතා , සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීල් හපුහින්න මහතා ඇතුළු උසස් නිළධාරීන් හමුවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *