මෙක්සිකෝවට ජනාධිපති ශෝකය පළ කරයි

(කොළඹ, ලංකාපුවත්) – මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙක්සිකානු රජයට හා එහි ජනතාවට, අපගේ හෘදයාංගම සංවේගය පළ කරලීමට මා සමඟ ශ‍්‍රී ලංකා රජය හා එහි ජනතාව ද එක්වන බවත්, මෙම භයානක ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ බලවත් සංවේගය ද පළකරන බවත් සිය ශෝක පණිවිඩයේ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ශෝක පණිවුඩයේ සම්පූර්ණ පාඨය පහත දැක්වේ:

අතිගරු එන්රික් පෙනා නිඒටෝ

එක්සත් මෙක්සිකානු රාජ්‍යයේ ජනාධිපති

මැක්සිකෝවේ පුවේබ්ලා ප‍්‍රාන්තයේ සිදුවූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව මම ඉතා කම්පාවට පත්වෙමි. මෙම ප‍්‍රබල භූකම්පනයෙහි බලපෑම ඉතා තදබල වන අතර එය භූකම්පනය සිදුවූ ස්ථානයෙන් ඔබ්බට ද විහිදී ඇති බව ද මම දනිමි.

මින් පෙර මෙක්සිකෝවේ දකුණු වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පාවෙන් පසුව නැවත යථා තත්ත්වයට පත්වීමට ආරම්භ කර ඇති අවස්ථාවක, ඇති වූ මෙම අභියෝගාත්මක අවස්ථාවේ, මෙක්සිකානු රජයට හා එහි ජනතාවට, අපගේ හෘදයාංගම සංවේගය පළ කරලීමට මා සමඟ ශ‍්‍රී ලංකා රජය හා එහි ජනතාව ද එක්වේ. මෙම භයානක ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ බලවත් සංවේගය දක්වයි.

මෙම ස්වාභාවික ව්‍යසනයෙන් ඇතිවූ කම්පනය හා විනාශය මඟහරවා ගැනීමට ඔබගේ විශිෂ්ට නායකත්වය හා මෙක්සිකානු ජනතාවගේ දැඩි ආත්ම විශ්වාසය උදව් වන බව අපට විශ්වාසයි.

කරුණාකර අපගේ උපරිම ගෞරවය පිළිගනු මැනවි.

මෛත‍්‍රීපාල සිරිසේන

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *