බුද්ධ රශ්මි වෙසක් කළාපයට සියල්ල සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය විසින් සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කළාපය මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර තිබේ.

අරලියගහ මන්දිරය හා ගංගාරාම විහාරස්ථානය අවට පරිශ්‍රය තුළ පැවැත්වෙන බුද්ධ රශ්මි වෙසක් කළාපයෙහි, ඉන්දියාවේ හා පාකිස්ථානයේ සිට වැඩම කරවනු ලබන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද, නේපාලයෙන් හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි දීපංකර බුද්ධ ප්‍රතිමාව, ශාක්‍යමුනි බුද්ධ ප්‍රතිමාව, මෛත්‍රීය බෝසත් ප්‍රතිමාව ඇතුලූ කෞතුක වස්තු රැසක් ද ප්‍රදර්ශනය කෙරේ.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කෙරෙන සාරානාත්හි වරනාසි නුවර වැඩසිටින ශ්‍රී සර්ඥ ධාතූන්වහන්සේල ද, පාකිස්ථානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේලා ද අරලියගහ මන්දිරයේ තැන්පත් කෙරෙන අතර එම ධාතූන්වහන්සේලා වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මහජනතාවට උදාවේ.

බුද්ධ රශ්මි වෙසක් කලාපය 29වනදා පස්වරු 7.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරේ.

අප්‍රේල් මස 29 වන දින පස්වරු 7.00 සිට මැයි 03 වන දින පෙරවරු 4.00 දක්වා අඛණ්ඩව දිනය පුරා සර්වඥ ධාතූන්වහන්සේලා ඇතුලූ බෞද්ධ කෞතුක වස්තු වැඳපුදා ගැනීමට මහජනතාවට හැකි බව සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම බුද්ධ රශ්මි වෙසක් කලාපය තුළ රාජ්‍ය ආයතන හා පළාත් රාජ්‍ය ආයතන මෙන්ම, සියලූ ආරක්ෂක අංශ විසින් සකස් කරන ලද ප්‍රදර්ශන කුටි ද, සංස්කෘතික සංදර්ශන, භක්ති ගීත සංදර්ශන හා ආහාර පාන ඇතුලූ දන්සැල් රැසක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *