අගමැති, කරුණානිධිගේ සුවිශේෂී සිද්ධියක් සිහිපත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි මහතාගේ අභාවය සම්බන්ධයෙන් සොව පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරයි.

බුදු දහම කෙරෙහි කරුණානිධි මහතා තුළ පැවති ප්‍රසාදය පිළිබිඹුවන විශේෂ අතීත මතක සටහනක් ද එහි දී අගමැතිතුමා විසින් සිහිපත් කර තිබේ.

අගමැතිතුමාගේ ශෝක පණිවුඩය

දශක අටක් ඉක්මවා කැපී පෙනෙන දේශපාලන ගමනක යෙදුණු, දකුණු ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මහ ඇමති, ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි මැතිතුමා, තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් නොව සමස්ත භාරත දේශයේ ජනතා ආදරය සහ ගෞරවය දිනා ගත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකි.

විධිමත් පාසල් අධ්‍යාපනයක් නොලද එතුමා අවුරුදු 14ක නව යෙඣීවනයකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ එවකට දැඩිව සමාජයට බල පෑ හින්දු කුලවාදයට එරෙහිව හඬ නැගඣ යුක්තිය පක්ෂයේ පුවත්පත සඳහා ස්වකීය දායකත්වය ලබා දෙමිනි. දේශපාලනයත්, ලේඛන කලාවත් සමඟ එතුමා දිනා ගත් ජනතා ප්‍රසාදය කොතෙක්ද යත්, 1969 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස පස්වරක් තේරී පත්වන්නට සමත් වූයේය.

කලාවේදී කරුණානිධි ලෙසින්ද දකුණු ඉන්දියාව තුළ ගෞරවාදරයට පාත්‍ර වන එතුමා, දෙමළ බසින් සාහිත්‍යකරණයේ යෙදුණු දක්ෂ ලේඛකයෙකි. නවකතා, කෙටිකතා රචනය මෙන්ම චිත්‍රපට තිර රචනය, ගීත රචනය, සිනමා දෙබස් රචනය ආදී වශයෙන් ලේඛන කලාවේ විවිධ ඉසව් තුළ දක්ෂතා දැක්වූ, කලාවට මෙන්ම පොත, පතටද මහත් ළැදියාවක් දැක්වූ කලාකාමී දේශපාලනඥයෙකි.

මේ අවස්ථාවේ විශේෂ සිදුවීමක් මගේ මතකයට නැගේ. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජය ලබා, 2006 වසරේ මැයි මස 13 වනදා පස්වන වරටත් මහඇමති ලෙස එතුමා දිවුරුම් දීමට සූදානම් වන අවස්ථාවේ හිතවතුන්ගේ විරෝධයක් මතුවූයේ 13 දිනය සුබ දවසක් නොවන බව පවසමිනි. චෙන්නායි මහාබෝධි සමාගමේ වෙසක් පෙරහැර පවත්වන්නේත් එම දිනයේම වන බැවින් එය අසුබ දවසක් විය නොහැකි බව ප්‍රකාශ කරමින් එතුමා තම දිවුරුම් දීම නියමිත දිනයේම සිදුකළ අතර, ඒ බව දිවුරුම් දුන් අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්නටද අමතක නොකළේය.

බුදු දහම කෙරෙහි එතුමා තුළ පැවති ප්‍රසාදය මෙම සිදුවීමෙන් මනාව පැහැදිලි වේ. දකුණු ඉන්දියාව සහ අප රට අතර මානුෂීය සහ සමාජයීය සබඳතා තහවුරු කිරීමට එතුමා බොහෝ අවස්ථාවන්හිදී පුරෝගාමීව කටයුතු කළේය. ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලදී කරුණානිධි මහත්මා වෙතින් ලද සහයෝගය අප මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කළ යුතුය.

තමිල්නාඩු ප්‍රාන්තය වෙනුවෙන් හිටපු මහඇමති මුතුවේල් කරුණානිධි මැතිතුමා ඉටුකළ පොදුජන මෙහෙවර එම ජනතාවගේ සිත්සතන් තුළ සදානුස්මරණීය වනු ඇති බව සඳහන් කරමින්, එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් දකුණු ඉන්දීය ජනතාව වෙත මාගේත්, ශ්‍රී ලාංකික ජනතාවගේත් බලවත් සංවේගය පළකර සිටිමු.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

2018 අගෝස්තු 09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *