දුම්රිය වර්ජනය නතර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ ඊයේ(27) පැවති සාකච්ඡාවකින් අනතුරුව හෙට (29) පැවැත්වීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අවලංගු කළ බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.

මේ අතර වැටුප් විෂමතා ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් දුම්රිය වෘත්තිය සමිති පසුගියදා දියත් කළ වැඩවර්ජනයෙන් පසුව ජනාධිපතිතුමා විසින් රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම පත් කරනු ලැබූවේය.

ඒ ඉකුත් අගෝස්තු 14 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණයක් අනුවයි.

එම කොමිසමේ සාමාජිකයන් ජනපතිගේ ප්‍රධානත්වයෙන් පළමුවරට ඊයේ දින රැස් වූ අතර එහි සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරිමද එහිදී සිදුකෙරුණි.

සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම කොමිසමේ සභාපති ධුරය දරන්නේ එස්.රනුග්ගේ මහතාය.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේදී ඇතිවන බලපෑම් අධ්‍යනය කිරීම , වැටුප් චක්‍රලේඛ මඟින් වැටුප් විෂමතාවයන් සිදුවී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම , විෂමතාවයන් අවම කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත්කිරීම සහ විෂමතා අවමකිරීමට මඟ පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයන් පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කොමිෂන් සභාවේ කාර්යයන් සහ නියමයන් වේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසමට උපදෙස් ලබා දුන්නේ අදාළ නිර්දේශ මෙම වසරේ ඔක්තෝබර් 30 වනදාට පෙර ඉදිරිපත් කිරීමට ක‍ටයුතු කරන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *