රට බෙදන කිසිම ලියවිල්ලකට එජාපය අස්සන් කර නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතික පක්ෂය රට බෙදීම සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලකට අස්සන්කර නොමැති බවත්, රට බෙදීමට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී සර්ව පාක්ෂික කමිටුවට ඉදිරිපත් කළ යෝජනාව ගැන අද කතා කරන විට එම යෝජනාව ඉදිරිපත් කළ අයම ආණ්ඩුව රට බෙදනවා යැයි කෑ ගසන බවත් අගමැති වික්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ගෙනවිත් නොමැති බව කී අගමැතිවරයා එම වාර්තාව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලේ හොඳ යැයි කී අය අද ආණ්ඩුව ඒ ගැන කටයුතු කරන විට ජාති ද්‍රෝහින් යැයි ආණ්ඩුවට චෝදනා කරන බවත් කිය. එසේ නම් රට බෙදීමට හැදුවේ මහින්ද රාජපක්ෂ ද අපිද යැයි අගමැතිවරයා ප්‍රශ්න කර සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල කාන්තාවන් මුල්‍ය ආයතනවලින් ලබා ගත් ණය නිදහස් කිරීමේ නිල සහතික පත්‍ර ප්‍රදාන රාජ්‍ය උතස්වයට ඊයේ (14) සහභාගීවෙමිනි. යාපනය වීරසිංහම් ශාලාවේ දී මෙම උත්සවය පැවැත්විණි.

රජය විසින් සිදු කරන ලද සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම හා දැනට සිදුවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(14) දින යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සංචාරයේ නිරත විය.

යුද්ධයෙන් පසු යළි ගොඩනැගෙන උතුරේ සංවර්ධන වයාපෘති පිළිබඳ අධ්‍යයනය කරමින් එහි අඩු-පාඩු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාව පුරා 14,15 සහ 16 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබිණි. කෝපායි නැගෙනහිර වලිකාමම් නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල විවෘත කිරීම, යාපනය දිස්ත්‍රික් ලේකම්කාර්යාලයේදී නිවාස, නැවත පදිංච්කිරීම් සහ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචනයට, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීම, පලාලි ගුවන් තොටුපළ නිරීක්ෂණ චාරිකාවකට, මයිලෙඩ්ඩි නැවත පදිංච් කිරීමේ ගම්මානයේ නිවාසවලට මුල්ගල තැබීමට, කන්කසන්තුරේ වරාය නිරීක්ෂණ චාරිකාවකට ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(14) දිනයේ දී සහභාගි විය.

රජයේ මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම නිරීක්ෂණ චාරිකාවන්ට එක්ව සිටින අතර මතුවන ගැටළු හා අඩු-පාඩුකම් පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා කරමින් ඒවා නිසි ආකාරව ඉටු කරන ලෙස මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *