පොලිස් CCTV පද්ධතියට අලුත් තාක්‍ෂණය

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අවට ක්‍රියාත්මක පොලිස් සමීප රූප ආවේක්‍ෂණ පද්ධතිය (CCTV) තවත් වැඩි දියුණු කිරීමට ඉදිරියේ දී සූදානම් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ අනුව වාහනයක අංක තහඩුව ඉතා පැහැදිලිව හදුනා ගැනීම, රියදුරුගේ මුහුණෙහි පැහැදිලි දර්ශන ලබා ගැනීම වැනි දියුණු වූ ක්‍රමවේදයකට යෑමට සූදානම් වේ.

මේවන විට කොළඹ අවට ක්‍රියාත්මක CCTV පද්ධතිය වසර 10ක් පමණ පැරණි වේ. කැමරා 103ක් පමණ දැනට කොළඹ නගරය තුළ භාවිත කෙරේ.

එසේම දැනට මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ඇනලොග් තාක්ෂණය ඔස්සේවන අතර එය ඩිජිටල් ක්‍රමයට මාරු කිරීමට ද නියමිත ය.

2018 වසරේ 35,000ක් පමණ රථවාහන අනතුරු සිදුව ඇති අතර එයින් 3,050කට අධික පිරිසක් මිය ගොස් ඇතැයි අජිත් රෝහණ මහතා සදහන් කළේය. එසේම 15,000ක් පමණ බරපතල තුවාල ලබා ඇත.
මෙම රියඅනතුරු අතරින් වැඩි පිරිසක් එනම් තුනෙන් එකක් පමණ මිය ගොස් ඇත්තේ යතුරු පැදිකරුවන් ය. දෙවනුවට මිය ගොස් ඇත්තේ පදිකයින් ය.

මෙලෙස රිය අනතුරු සදහා හේතු වන කරුණු කිහිපයකි. එනම් නොසැලකිලිමත්/ අපරීක්ෂාකාරී ධාවනය, අධික වේගයෙන් රිය පැදවීම, තරගකාරීත්වය (මෙය පොදු ප්‍රවාහන පද්ධතියේ විශේෂයෙන් කැපීපෙනෙන තත්ත්වයකි), බීමත්ව රිය ධාවනය, මානසික ආතතිය, නිදිමතෙන් යුතුව රිය පැදවීම, ඖෂධ ගෙන වාහන පැදවීම, පාරේ තත්ත්වය නුසුදුසු වීම(පාරවල් විවිධ නඩත්තු කටයුතු සදහා කපා ඒවා නිසි ලෙස පිලිසකර නොකිරීම), අවුරුදු 16,17 වයස් වල පසුවන ළමුන් විනෝදාංශයක් ලෙස වාහන ධාවනය කිරීම, අධික වාහන ගහණය සහ වාහන වල කාර්මික දෝෂ ආදියයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉදිරියේ දී CCTV කැමරා පද්ධතිය වැඩිදුයුණු කිරීම ඔස්සේ මාර්ගයේ ගමන් ගන්නා විනීත රියදුරන්ට යම් සංඥා පද්ධති ලාම්පුවක් පසු කර යාමේ දී වැඩි ඉඩකඩක් ලබා දීමට ද පියවර ගන්නා බවයි.

මීට අමතරව දැනට පවතින් CCTV කැමරා පද්ධති සවි කර ඇති ජංගම රථ ප්‍රමාණය වැඩි කිරීමට ද අපේක්‍ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *