පාකිස්ථාන ක්‍රිකට් ජයග්‍රහණයට ජයඝෝෂා නැගූ 15 ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – අයි සී සී චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණු අවස්ථාවේදී ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය වෙනුවෙන් සටන් පාඨ කියමින් ඝෝෂා නැගීමේ චෝදනාවට මුස්ලිම් ජාතිකයන් 15 දෙනකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව ඔවුන්ට රාජ්‍යද්‍රෝහී චෝදනා එල්ල වී ඇත. ඇප ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

තරගය අතරතුරදී මහත් ශබ්ද නැගෙන පරිදි රතිඥ්ඥා පුපුරවමින් පකිස්ථානය වෙනුවෙන් ජය ඝෝෂා නැගීමට විරුද්ධව හින්දු අසල්වාසීන් විසින් පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කර ඇත.

ඉකුත් සදුදා සවස්වන විට මේ සම්බන්ධ විමර්ශනයක් සිදු කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කර සාමයට බාධා කිරීමට උත්සාහ කිරීම අනුව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහය අනුව රාජ්‍ය ද්‍රෝහී වීම යනු බරපතලම චෝදනාවකි .

මෙම චෝදනාව ලැබූ පුද්ගලයන්ට විදෙස් ගමන් බලපත්‍රය අත්හිටවීම, රජයේ රැකියා සඳහා නොසුදුසු වීම, අවශ්‍ය වූ විට අධිකරණය හමුවේ පෙනී සිටීම, නීති ගාස්තු සඳහා වැය දැරීම යන දණ්ඩන වලට යටත් වීමට සිදුවේ.

කෙසේ වෙතත් මෙම චුදිතයන් අත්අඩංගුවට ගනු ලැබුවේ පාකිස්ථානයට ජයඝෝෂා කිරීම නිසා නොව ඉන්දීය විරෝධී සටන් පාඨ පැවසීම නිසා පමණක් බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *