ජාතික සමගිය ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට එන්න – රටේ සමස්ත කාන්තා පරපුරට ආරාධනයක්

(කොළඹ, ලංකාපුවත්) – දිනෙන් දින සමාජය තුළින් ගිලිහි යන මනුෂ්‍යත්වය රැක ගනිමින් සියලූදෙනාට සහෝදරත්වයෙන් ජිවත්විය හැකි සාමය සහ සමගිය අගයන රටක් ගොඩනැගීමට පුළුල් බලවේගයක් ලෙස ශක්තිමත්ව පෙරට පැමිණෙනැයි තමා සමස්ත කාන්තා පරපුරටම ආරාධනා කරන බව ජනාධිපතිතුමා පවසයි.

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නමිත්තෙන් ඊයේ (08) පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති කාන්තා දින සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ය.

”දියුණුවේ මංපෙත් හෙළි කරයි-ඇය සවිමත්” යන තේමාව යටතේ මෙම සැමරුම් උත්සවය, හා කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි. ඉතිහාසයේ එක් එක් යුගයන් තුළ රට වෙනුවෙන් කාන්තාවන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ බව මෙහිදි සිහිපත් කළ ජනාධිපතිතුමා අද දවසේ ද මාතෘත්වය මුල්කරගත් කාන්තා පරපුරට හිමිව ඇති ප‍්‍රමුඛ වගකීම වන්නේ සියලූ ජාතින් අතර සාමය සහ සමගිය ගොඩනගමින් සියලූදෙනා සහෝදරත්වයෙන් ජීවත්වන රටක් ගොඩනැගීමට දායකවීම බව කියා සිටියේය.

මාතෘත්වය සහ කාන්තා අයිතින් පිළිබඳ රජය ඉතා වගකීමෙන් කටයුතු කරමින් කාන්තාවන්ට හිමිවිය යුතු සමාජ ගෞරවය මෙන්ම පිළිගැගැනීම ලබාදීමට කටයුතු කරන අතරම ඒ පිළිබඳ සමාජයේ සියලූදෙනා තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම රට වෙනුවෙන් විදේශ විනිමය උපයා දෙන සමස්ත කාන්තා පරපුරටම ජාතියේ ගෞරවය පුද කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

මෙවර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කරන ලද ”සෙනෙහස” විශේෂ පුවත්පත් අතිරේකය ළමා හා කාන්තා කටයුතු ඇමතිණි චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

කාන්තා ව්‍යවසායිකාවන් අගයමින් සම්මාන හා සහතික පත් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව සිදු විය. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ කලා අංශයේ ඉගෙනුම ලබන දෘශ්‍යාබාධිත දැරියක් වන ඩබ්.ජී. සුබෝධා ශ‍්‍රීමාලි දැරිය විසින් ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිර්මාණය කරන ලද කවි පන්තියක්ද මෙහිදි ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. මෙම දැරියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී එනම් 2013 වසරේදී බ්‍රේල් යන්ත‍්‍රයක් පිළිගන්වා තිබීම ද විශේෂත්වයකි.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සහ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද දස සිල් මාතාවන් මෙන්ම අන්‍යාගමික පූජකවරුන් ද පොළොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් රංජිත් ආරියරත්න, පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විදුහල්පති රවීලාල් විජේවංශ යන මහත්වරුන් ඇතුළු ආරාධිත පිරිසක් සහ කාන්තා සංවිධාන නියෝජිතවරියන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *