රාජ්‍ය ගිවිසුම් අස්සන් කිරීමට පෙර පාර්ලිමේන්තු අනුමැතිය අනිවාර්ය කරනවා

(කොළඹ, ලංකාපුවත්) – රජයේ දේපළ හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ගිවිසුම් අස්සන් කිරීමට පෙර අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

පසුගිය වසර හතර හමාරක කාලයේ බලයේ සිටි යහපාලන ආණ්ඩුව මේ රටේ සම්පත් විකුණා දැමූ බව පෙන්වා දුන් ඒ මහතා ඔවුන් සිදු කළ විනාශයෙන් පසුව ඉතිරි වී තිබෙන සුන්බුන් ඒකරාශි කරගෙන රටේ ඉදිරි ගමනක් යාම වත්මන් ආණ්ඩුවට පැවරී තිබෙන බවද කෙසේ හෝ අප මාතෘභූමිය කලාපීය රටවල් අතර ඉදිරියට ගෙනයාම තම ඒකායන ප්‍රාර්ථනය බවද කීවේය.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී ඊයේ (29) පැවැති විද්වත් හමුවකට සහභාගී වෙමිනි. සංස්කෘතික නිඳහස සඳහා ජනතා සංසඳය සංවිධාන කළ මේ විද්වත් හමුව ‘පශ්චාත් කොවිඩ් 19 අභියෝග හා ඉදිරි මඟ’ යන්න තේමාව කරගනිමින් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අඳහස් පළ කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ කොවිඩ් -19 වසංගතය ශ්‍රී ලංකාවට පැමිණෙන විට යහපාලන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිමටම සමතලා වී තිබුණු බවත් 2015 යහපාලන ආණ්ඩුව බලයට එනවිට තිබුණු සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 2019 අවසන් වනවිට තුනෙන් පංගුවක් දක්වා පහත වැටී තිබෙන බවත්ය.

රටේ සමස්ත ණය බර සියයට 74 කින් වැඩිවී තිබෙන බව පෙන්වාදුන් ඒ මහතා යහපාලන ආණ්ඩුවේ අවුරුදු 4 ½ ඇතුලත ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සවරින් බොන්ඩ් නිකුත් කිරීමෙන් පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 18කට වඩා වැඩි විදේශ විනිමය ණය ලබාගෙන තිබෙන බවද රුපියලේ වටිනාකම සියයට 40කින් පහත බැස තිබෙන බව පෙන්වා දුන්නේය.

මේ ආර්ථික පරිහානියට කිසිම ජාත්‍යන්තර හේතුවක් නොතිබුණු බව සදහන් කළ අගමැතිවරයා ඒ කාලය තුළ, අමෙරිකාව, ජර්මනිය, ඉන්දියාව, බංගලාදේශය වේගයෙන් ඉදිරියට ගියා නමුත් ශ්‍රී ලංකාව පමණක් ආර්ථික වශයෙන් පිරිහීමට ලක්වූ බවද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් රටේ ආර්ථිකය කබලෙන් ළිපට වැටුණු බවද ප්‍රකාශ කළේය.

කෙසේ වූවද පසුගිය නොවැම්බර් මාසේ වත්මන් ආණ්ඩුව බලය ලබාගත් විගස බදු බර අඩු කොට පොලී අනුපාත අඩුකරමින් ආර්ථිකයට සේලයින් දෙන්න සිදුවූ බවද සිහිපත් කළේය.

යහපාලන ආණ්ඩුව පරිභෝජනයට පමණක් ලබාගත් වාණිජ ණයවල හැටියට ඩොලර් මිලියන 1300ක් යනු සොච්චමක් බව සඳහන් කළ මහින්ද රාජපක්ෂ මහතා 2019 අවුරුද්දේ පමණක් යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ් දෙකකින් ඩොලර් මිලියන 4,500ක ණයක් ලබා ගත් බවද ඒ තම ආණ්ඩුව හම්බන්තොට වාරායේ අදියර දෙකම, නොරොච්චෝලේ බලාගාරයේ අදියර තුනම, කොළඹ මාතර අධිවේගී මාර්ගය, කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය, මත්තල ගුවන්තොටුපොළ, උමා ඔය ව්‍යාපෘතිය යන සියලුම ව්‍යාපෘතිවලට ලබාගත් ණයටත් වඩා වැඩි ගණනක් බවද පැවසීය. කෙසේ වුවද යහපාලන ආණ්ඩුව ලබාගත් ණයවලින් කළ දෙයක් නොමැති බවද ඒ මහතා සදහන් කළේය.

හිටපු ඇමැති ඩීව් ගුණසේකර, දේශපාලන හා ජාත්‍යන්තර විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය වගීෂා ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහේෂ් අල්මේදා මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *