ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් සඳහා ‘සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලෙන් අඛණ්ඩව සහාය

(ලංකාපුවත් | කොළඹ) –සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ (SFD) ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් අබ්දුල්රහ්මාන් අල්-මර්ෂාඩ් මහතා ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සෞදි අරාබි රජය හා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල දක්වන සමීප සහයෝගය සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, දෙරටේ රජයන් අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය සහ මිත්‍රත්වයට සිය ප්‍රණාමය පුද කළේය.

සංවර්ධනය සඳහා වු සෞදි අරමුදලේ සහය ඇතිව මෙරට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ වී ඇත්තේ 1981 වසරේ දී ය. එතැන් පටන් පසුගිය දශක හතර තුළ මෙම අරමුදල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසකට දායක වී තිබේ.

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල නගර සංවර්ධන ව්‍යාපෘතිය ද සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ණය ප්‍රදානයක් යටතේ පසුගිය 27දා ආරම්භ විය. අග්‍රාමාත්‍යතුමා ද මෙම අවස්ථාවට මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක්විය.

ඊයේ දිනයේ විවෘත කළ බිබිල සිට චෙන්කලාඩි දක්වා කිලෝමීටර් 86.7ක් වන මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ද සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක විය.
කුලිපිටිය හා චෙන්කලාඩි පැවැති උත්සව අවස්ථා දෙකටම සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නියෝජිතයෝ සහභාගී වූහ.

අනාගත ප්‍රමුඛතා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල සුළු වාරිමාර්ග,ග්‍රාමීය ජල සම්පාදන සහ ඉදිරි මාර්ග සංවර්ධනය පිළිබඳ ව්‍යාපෘති පිළිබඳව සළකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ නියෝජිතයන්ගෙන් මෙහි දී ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *