ජනතා ඒකරාශි වීම් ඉහළ යෑමෙන් නව කොවිඩ් ප්‍රභේද නිර්මාණය විය හැකියි

(කොළඹ, ලංකාපුවත්) – සංගීත සංදර්ශන පැවැත්වීම ඇතුළු ජනතා ඒකරාශී වීම් ඉහළ යාමත් සමඟ කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද නිර්මාණය වී කොවිඩ් මර්දන එන්නතට ඔරොත්තු නොදෙන වයිරසයක් බිහිවීමේ අවදානමක් රට තුළ පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොවිඩ් ප්‍රතිකාර සේවාවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ප්‍රකාශ කළාය.

සංචරණ සීමා ලිහිල් කිරීම ඇතුළු උත්සව අවස්ථාවන් පැමිණීමත් සමඟ වයිරසයේ ව්‍යාප්තිය ඉහළ යාම සිදු විය හැකි බවත් එමඟින් වයිරසයේ විකෘතිතා ඇති විය හැකි බවත් ඇය පැවසුවාය.

මේ වන විට වයිරස් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ද, ආසාදිතයන් වාර්තා වීමේ ඉහළ යාමත් සමඟ මරණ සංඛ්‍යාවේ ද යම් වැඩිවීමක් දක්නට ලැබෙන්නේ යැයි ද ඇය කියා සිටියාය.

කොවිඩ් මර්දන තුන්වැනි එන්නත ලබා නොගත් බහුතරයක් පිරිස සමාජයේ සිටින බවත් මේ වන විට මෙරට ජනගහනයෙන් එම එන්නත ලබාගෙන ඇත්තේ සියයට 46ක පිරිසක් පමණක් බවත් ඇය පැවසුවාය.

මෙම වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබා ගැනීමට ජනතාව යොමු විය යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *