මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදි කෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඉදි කිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මුල්ගල් තැබූහ. අක්කර 250ක භූමියක ඉදි වෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග භාගයේ ඇරඹීමට නියමිත ය.

නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළහ.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. අක්කර 63ක භූමි භාගයක අතිනවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වේ.

කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයෙන බව කළමනාකාරීත්වය පවසයි.

ඉහළ කාර්යක්ෂමතාව, අපතේ යාම සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වරාය සහ කර්මාන්තශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ආවරණය කළ කන්වේයර් බෙල්ට් (Coovered Conveyer Belt) යොදා ඇති අතර පූර්ණ ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් යාර්ඩ් (Stacker Reclaimer Yard) සහ බ්‍රිජ් – ටයිප් ෂිප් අන්ලෝඩර් (Bridge Type Ship Unloaders) ද්විත්වයක් කර්මාන්තශාලාව සතු ය. එමඟින් ජාත්‍යන්තර ප්‍රවණතා අනුව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සිදු කළ හැකි වේ. ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සාමාන්‍ය පොර්ට්ලන්ඩ්, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයට ද සැලසුම් කර තිබේ.

කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹුම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. පසුව පැවති උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති, නන්දන ලොකුවිතාන මහතා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමඟ මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි සඳහන් කළේය.

පස් වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දීර්ඝකාලීන සැලසුම් මඟින් ශුෂ්ක කලාපයක්ව පැවති හම්බන්තොට පූර්ණ පරිවර්තනයට ලක් වූ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශයේ තරුණ පිරිස අනාගත අපේක්ෂාවෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය නිලධාරීන් ආයෝජකයන් දිරිගැන්වෙන අයුරින් සහාය දැක්වීමේ අවශ්‍යතාව ද අමාත්‍යවරයා විසින් එහිදී පෙන්වා දෙනු ලැබී ය.
දකුණු ආසියාවේ දුර්වල ම ආර්ථිකයක් සමග භාර ගත් රට සියලු අභියෝග හමුවේ පෙරට ගෙන යමින් රටට අවශ්‍ය සියලු දේ දේශීයව නිෂ්පාදනය කර ගැනීමේ වගකීම රජය දරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.
මෙතෙක් රට තුළ පැවති ආයෝජන කලාප සංඛ්‍යාව 14කි. 2024 වර්ෂය අවසාන වීමට පෙර නව ආයෝජන කලාප 11ක් ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි. එමඟින් අපනයන ආර්ථිකය ඉහළ නංවමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකි වන බව ඩී.වී. චානක මහතා කියා සිටියේය.
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, ලංවා ආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *