සංචාරක කලාප 20ක නව පොලිස් ඒකක

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක කලාප 20ක නව පොලිස් ඒකක පිහිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

ඊයේ(17) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා කියා සිටියේ මේ වනවිටත් ප්‍රදේශ 11ක එවැනි පොලිස් ඒකක පිහිටුවා ඇති බවය.

විදෙස් සංචාරකයන් සම්බන්ධයෙන් පසුගියදා ඇතිවූ සිද්ධීන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සදහා සංචාරක අමාත්‍යාංශයේ පැවති හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළේය.

එමෙන්ම පසුගියදා මිරිස්ස ප්‍රදේශයේ දී විදෙස් කාන්තාවකට අතවර කර ඕලන්ද ජාතිකයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එසේම වැලිගමදී ඊශ්‍රායල ජාතිකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම පිළිබඳව එහිදී විෂය භාර අමාත්‍ය ජෝන් අමරතුංග මහතාද අදහස් දැක්වූ අතර අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක පොලීසිය ශක්තිමත් කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී ඇති බවත්ය.

වෙරළක් ආසන්නයේ පොලිස් නිල ඇදුමක් දැකීමෙන් සිදු වන මෙවැනි සිද්ධීන් අවම කර ගත හැකි බව පැවසූ ඒ මහතා කියා සිටියේ සංචාරකයින් මෙරටට පැමිණි පසු ඔවුන්ට නිසි ආරක්ෂාවක් ලබා දී ඔවුන් නැවත ලංකාවට පැමිණීමට කැමැත්තක් ඇති වන ආකාරයේ සංචාරක ව්‍යාපාරයක් පවත්වාගෙන යාම රටේ වගකීමක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *