මගේ සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවේ

(කොළඹ, ලංකාපුවත්) –තම සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවන බවත් ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන ඒම බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ පදනම් ආයතනයේ පසුගිය (26) දා පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිණි.

කැබිනට් ඇමැති ධුර 30කටත් නියෝජ්‍ය ඇමැති ධුර 30කටත් සීමා කිරීම, රාජ්‍ය සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර අහෝසි කිරීම, ජනාධිපතිවරයාගේ වියදම් 90%කින් කපා හැරීම, මැතිවරණ පොරොන්දු නීතිමය ලියවිල්ලක් බවට පත්කර ජනතාව හා බද්ද කිරීම, මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කිරීම, හිටපු ජනාධිපතිවරු සහ පවුලේ සාමාජිකයන් ජනතා බදු මුදලින් නඩත්තුවීම අහෝසි කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම, රට පුරා ඉදිකර ඇති ජනාධිපති මන්න්දිර පුස්තකාල, සංචාරක නිකේතන හෝ ඒ ඒ ප්‍රදේශවලට ගැලපෙන පරිදි වෙනස් කිරීම, ලෝක ණය කන්ද ගෙවා දැමීම, නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ආදී කරුණු ගණනාවක් එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගුව තිබේ.

ට මහා සංඝරත්නය සහ කතෝලික පුජකවරු ඇතුළු ආගමික නායකයෝ, සාහිත්‍යවේදීන්, රංගණශිල්පීන්, සම්මානනීය ක්‍රීඩකයන්, වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, නීතීඥයන්, ඉංජිනේරුවන්, ව්‍යාපාරිකයන්, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව එක්වි සිටියහ.

එහි දී නීතීඥ කෞෂල්‍යා ආරියරත්න, ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම් ආචාර්ය අනුර කරුණාතිලක, සාහිත්‍යවේ දී කෞෂල්‍ය කුමාරසිංහ, ජාතික විද්වත් සංවිධානයේ යාපනය දිස්ත්‍රික් සභාපති ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සූරිය ප්‍රගාසම් යන මහත්ම මහත්මීන් දේශන පැවැත්වූහ.

මහා සංඝරත්නය සහ කතෝලික පුජකවරු ඇතුළු ආගමික නායකයෝ, සාහිත්‍යවේ දී ජයතිලක කම්මැල්ලවීර, සම්මානනීය මලල ක්‍රීඩක සුගත් තිලකරත්න, උතුරු නැගෙනහිර හිටපු ආණ්ඩුකාර ලයනල් ප්‍රනාන්දු, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක නජා මොහොමඩ් මහත්වරු ඇතුළු පැමිණ සිටි පිරිසට එහි දී ප්‍රතිපත්ති ප්‍රකාශ පිළිගන්වන ලදී.

මෙහි දී ජාතික ජන බලවේගයේ වෙබ්අඩවිය විවෘත කිරීමට සිදු කෙරිණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කීය.

“ලබන නොවැම්බර් 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් කරන ප්‍ර‍්‍රතිපත්ති ප්‍රකාශනය මේ අවස්ථාවේ එළිදක්වන්නේ, මැතිවරණයක දී දේශපාලන පක්‍ෂයක් වශයෙන් ජාතික ජන බලවේගය හා ජනතාව අතර බැඳීම හා සම්මුතිය. මෙහි අඩංගු කරුණු ඉටුකිරීම පිළිබඳව අපට වගකීමක් තිබෙනවා. නමුත්, අපේ රටේ සිදු වී තිබෙන්නේ, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය හුදු ලියැවිල්ලක් බවට පත්කර බලයට පත්වන ආණ්ඩුව වෙනස් දේවල් ක්‍රියාත්මක කිරීමයි. අපි බලය ගත්තාම නීතියක් සම්පාදනය කරනවා, මැතිවරණයක දී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් ඇති වන ආකාරයට.

ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරනවා නම්, ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට ලබා දෙනවා. අප මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට තිබෙන තත්ත්වය කුමක් ද? ණය උගුලක හිරවීම, විදේශ වෙළෙඳාමේ විශාල පාඩුවක් පැවැතීම, අපරාධවලින් ගහණ වෙච්ච රාජ්‍යයක් නිර්මාණයවීම, සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සැකය, වෛරය, ක්‍රෝධය වර්ධනය කර තිබීම, නීතියේ සහ විධානයේ ආධිපත්‍යය කඩාවැටී තිබීම, ජනතාවගේ මූලික ජීවන අවශ්‍යතා ඉටු කිරීමට අසමත් වීම වැනි අංශ ගණනාවකින් බිඳවැටී තියෙන්නේ. අප මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්නේ, බිඳවැටුණු රාජ්‍යය යළි ගොඩනඟන්න.

මේ වෙනුවෙන් මූලික පදනම් තුනක් ඉටු කළ යුතුයි. නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම ප්‍රමුඛතම කාර්යභාරයයි. ජනාධිපති, අගමැති හෝ වෙනත් ඕනෑම දේශපාලන බලවතෙක් නැත්නම්, නිලධාරියෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් නොවිය යුතුයි. අපේ රටේ ගොඩනැගෙන පාලකයන් හැම විටම නීතියට උඩින් හිටියේ. බලවත්, දුප්පත්, ධනවත් කිසිදු භේදයකින් තොරව හැම දෙනාටම නීතියේ ආධිපත්‍යය ඉටුවන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. පොලිස් දෙපාර්තමේන්තුව, අනෙකුත් පරීක්‍ෂණ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය දැවැන්ත ප්‍රතිසංවිධාන ක්‍රියාවලියකට යටත් කරනවා.

ඊ ළඟට වංචාව, දූෂණය සහ නාස්තිය රජකරන දේශපාලනයක් වෙනුවට සියලුම ආකාරයේ මහජන මුදල් කොල්ලයන් නවත්වනවා. අද වෙලා තියෙන්නේ, සියලු ම දර්ශකවලින් රට දුප්පත් තැනට දාලා, පාලකයා පොහොසත් වීමයි. දේශපාලනය ඒ වෙනුවෙන් වූ ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර තිබෙනවා. අපි ඒ දේශපාලනය මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි යෝජනා කරනවා. ඒ වෙනුවෙන් මන්ත්‍රී විශ්‍රාම වැටුප නැවැත්වීම, හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීම නතර කරනවා.

ඒ වාගේම කැබිනට් මණ්ඩලය තිහකට සීමා කරනවා. නියෝජ්‍ය අමාත්‍ය ධුරත් තිහයි. කැබිනට් නොවන සහ රාජ්‍ය අමාත්‍ය ධුර අහෝසි කරනවා. යළි කිසිවකුට ඇතිකිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. ඒ වාගේම රටට ඔරොත්තු නොදෙන තරම් වාහන ගහණයක් ඇති වී තිබෙන මන්ත්‍රීවරුන්ට බදු නිදහස් වාහන ලබාදීම නතර කරනවා. දේශපාලනය කියන්නේ, බිස්නස් එකක් නොවෙයි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දවස්වල කෝටි හතරකට වඩා වැඩියි. අපි ඒ වියදම් 90%කින් කපාහරිනවා. ජනාධිපතිවරයා වෙනුවෙන් රට පුරා ගොඩනඟා තිබෙන මාලිගා, ඒවා පිහිටීම අනුව පුස්තකාල හෝ සංචාරක නිකේතන අදිය බවට පරිවර්තනය කරනවා.

මහජනයාගේ දේපළ කොල්ලකාගෙන සිටින අතළොස්සගෙන් ඒ සියලුම ධනය යළි අත්පත් කරගෙන මහජන සුබසාධනයට යොදවනවා. දේශපාලනය ශුද්ධ කරන්නේ නැතිව මේ රට ගොඩනඟන්න බැහැ. ඒ වාගේම මහජන ආරක්‍ෂාවට එල්ල වී තිබෙන තර්ජනය අවසන් කිරීමට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සාමුහිකත්වය, සහජීවනය ඇති කරනවා. ඒ නිසා මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම ජනරාල්ගේ කාර්යභාරයක් නොවෙයි. දේශපාලන කාර්යභාරයක්. කිසිදු ජන කොටසක් තුළ කිසිදු අන්තවාදයක් ගොඩනැඟීමට ඉඩ නො දී මහජන ආරක්‍ෂාව තහවුරු කරනවා. අපි ඒ බවට සහතික වෙනවා. සෑම ජන කොටසක්ම තමන්ගේ සමාජයේ ගොඩනැගෙන අන්තවාදයට විරුද්ධයි. අන්න ඒ විරුද්ධ ජනතාව සහභාගී කරගෙන මේ ප්‍රශ්නය විසඳනවා. අපට අවශ්‍ය වී තිබෙන්නේ, මහජන ආරක්‍ෂාව තහවුරු කර ජාතික ආරක්‍ෂාව සැබෑ ලෙසම තහවුරු කිරීමටයි. ඇත්ත ආරක්‍ෂාව තියෙන්නේ එතැන.

තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය, තමන්ගේ ආගම ඇදහීමේ අයිතිය, තමන්ගේ සංස්කෘතික අනන්‍යතා රැකගැනීමට ඔවුන්ට තිබෙන අයිතිය අපි තහවුරු කරනවා. අපේ රටේ අනාගතය ගොඩනැගෙන්නේ මේ තුළින් කියලා අපි විශ්වාස කරනවා. උතුරෙත්, දකුණෙත් අපේ පරම්පරාවේ මිනිස්සු මිය ගියා. අදත් සමාජයේ එකිනෙකා කෙරෙහි වෛරයෙන් පෙළෙනවා. ඒ වෙනුවට අපේ දරුවන් වෙනුවෙන් සමඟියෙන්, සහෝදරත්වයෙන් ජීවත්වන රටක් නිර්මාණය කිරීමේ වගකීම ජාතික ජන බලවේගය භාර ගන්නවා. නීතියේ විධානය, මහජනතාවගේ ආරක්‍ෂාව, වංචා, දූෂණයෙන් තොර පාලනය කියන ස්ථම්භ තුන මත අපි අපේ පාලනය ස්ථාපනය කරනවා.

. ජනතාවගේ ජීවිත සමඟ ගැටගැසුණු රට ගොඩනැඟීමේ මාවත අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් එළිදක්වා තිබෙනවා. මේ මඟින් ජාතික ආර්ථිකයේ ගැටලු වාගේම මහජනතාව මුහුණ දී සිටින ආර්ථික ගැටලුත් විසඳනවා. අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිවීම, රෝහල්වල බෙහෙත් නැතිවීම, ණය බරින් මිරිකී සිටීම වාගේ කොන්දේසි ගණනාවකින් ජනතාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පෙන්නුම් කරනවා. ඒ වාගේම ණය කන්දෙන් ගොඩ ඒම, අය-වැය හිඟය පියවීම, විදේශ වෙළෙඳාමේ පාඩුව අවම කර ගැනීම, ආර්ථිකයේ ඉහළ තලයේ පවතින මූලික ගැටලුයි. මේ දෙක එකිනෙකට සම්බන්ධ වී තිබෙනවා. මේ දෙකම විසඳීම ආර්ථිකය ගොඩනැඟීමේ පදනමයි. අද බලයට ඇවිත්, හෙට ආර්ථිකය ගොඩනඟන්න බැහැ. ක්‍රමිකව සංවර්ධනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. අවුරුදු පහක්, හයක් යන කොට ස්ථිර වශයෙන් ම ණය උගුලෙන් ගැලවිය හැකි සංවර්ධන උපායමාර්ගයක් අනුගමනය කරනවා. මහජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳෙන්නේ මේ ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනා වෙත ම සාධාරණ ලෙස බෙ දී යාමට සැලැස්වීමෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *