අමෙරිකාවේ නව ජනපති ලෙස ජෝ බයිඩන් අද දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවේ දේශපාලනය කවදාටත් වඩා දෙදරීමට ලක් කළ දින කිහිපයක් පසු කිරීමෙන් අනතුරුව අද (20) අමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් දිවුරුම් දෙයි.

එරට සිවිල් යුද සමයෙන් අනතුරුව ඇති වූ විශාලතම බෙදීම ඇති වූයේ 2020 නොවැම්බරයේ පැවැති මෙවර ජනාධිපතිවරණයේ දීය. මේ සඳහා හේතු වූයේ බලය අත්හැර යන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය පිළිගත නොහැකිව අත්තනෝමතික ලෙස සිදු කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ය. ඔහුගේ උසිගැන්වීම්වලින් ඇවිස්සුණු අනුගාමිකයින් සන්නද්ධව කැපිටල් ගොඩනැඟිල්ලට කඩා පැන ප්‍රකෝපකාරී ලෙස හැසිරිණි. කෙසේ වෙතත් ඉවසිල්ලෙන් කටයුතු කළ බයිඩන් අද දවසේ සාමකාමී ලෙස ජනාධිපති ධූරයට පත් වන්නේය.

වසර 50ක දේශපානය අත්දැකීම් ඇති බයිඩන් මෙතෙක් ඉතිහාසය තුළ ජනාධිපති ධූරයට පත් වූ වයසින් වැඩිම තැනැත්තා වන්නේය. විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥතාවක් පෙන්නුම් කරන ඔහු විශේෂයෙන්ම ජනාධිපති බැරැක් ඔබාමාගේ පාලන සමයේ උප ජනාධිපති ධූරය දරමින් විශාල සේවයක් ඉටු කළේය.

අද දවසේ ට්‍රම්ප් අනුගාමිකයින්ගේ සන්නද්ධ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වනු ඇතැයි එෆ්බීඅයි ඔත්තු සේවය අනතුරු අඟවා තිබිණි. එහෙත් ඊයේ වන විට එවැනි කලබලකාරීන්ගේ ක්‍රියාවන් සිදු වූයේ ප්‍රාන්ත කිහිපයක පමණි. අමෙරිකාව වැනි ලෝකයට ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දේශනා කරන රටකින් මෙවැනි ක්‍රියාවන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැක්කකි.

අමෙරිකාවේ බලයට පත් වන ඕනෑම ජනාධිපතිවරයකු දිවුරුම් දී රාජකාරී භාරගන්නේ ජනවාරි 20 වැනිදාය. එය සම්මතයකි. බයිඩන්ගේ දිවුරුම් දීමට බලපෑ තවත් කාරණයක් වූයේ රට ගිලගෙන තිබෙන කොවිඩ් 19 වසංගතයයි. මේ අසීරු අභියෝග හමුවේ රට භාර ගන්නා බයිඩන්ගේ ඉදිරි වසර 4ක ධූර කාලය අතරතුර බොහෝ වෙනස්කම් සිදු වෙතැයි අපේක්ෂා පවතියි. විශේෂයෙන්ම කළු ජාතිකයින්ට, සුළු ජාතිකයින්ට සහ සංක්‍රමණිකයින්ට සාධාරණයක් ඇති වනු ඇතැයි බලාපොරොත්තුවක් පවතියි.

බයිඩන් දිවුරුම් දීමේ උත්සවය කාලාන්තරයක් තිස්සේ එරට පැවැත එන සම්ප්‍රදායික කටයුතු රැසකින් සමන්විත වේ. මාර්ගගත ක්‍රමයට සම්බන්ධ වන පෙළපාළියක් සහ භටයින් විසි දහසක සහභාගීත්වයක් ඇතිව සිදුකෙරෙන කටයුතු රැසකින් යුක්තය. සම්ප්‍රදායක් වශයෙන් නව ජනාධිපතිවරයා උදෑසන ම ධවල මන්දිරයට පැමිණ බලය අත්හැර යන ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය මුණ ගැසෙයි. ඉන්පසු ඒ දෙදෙනාම සමාරම්භක උත්සව අවස්ථාව වෙත ගමන් කරයි.

කෙසේ වෙතත් තමන් මෙම සමාරම්භක අවස්ථාවට සම්බන්ධ වන්නේ නැතැයි ට්‍රම්ප් කියයි. මේ නිසා උදෙන්ම ධවල මන්දිරයට පැමිණෙන බයිඩන් මුණගැහෙන්නේ කවුරුදැයි ගැටලුවක් පවතියි. කෙසේ වෙතත් තේරීපත් වී ඇති ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරිය කැපිටල් ගොඩනැඟිල්ල වෙත ගොස් දිවුරුම් දීම නතර කළ නොහැකිය. සම්ප්‍රදායිකව අමෙරිකානු ජනාධිපති දිවුරුම් දීමට විවිධ උත්සවාංග රැසක්ම ඇතුළු වුවත් මෙවර එයින් ඇතැම් ඒවා අඩු කිරීමට නියමිතය.

දිවුරුම් දීමේ උත්සවයේ ආරම්භය අද එරට වේලාවෙන් පෙ.ව. 11.30ට ආරම්භ වන අතර ජෝ බයිඩන් සහ කමලා හැරිස් දිවුරුම් දීම මේ උත්සවය අතරතුර දී සිදු වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *